Myturn – විද්‍යාර්තීන් සහ සීමාවාසික පුහුණුවීම් ගැන කතාවක් !

අවුරුදු කිහිපයක් තමන්ගේ academic වැඩවලින් theoretical knowledge (න්‍යායාත්මක දැනුම) ලබාගන්න විද්‍යාර්තීන් තමන් ඉගෙන ගන්න විෂය ක්ෂේත්‍රයට අදාලව practical and technical knowledge (ප්‍රායෝගික සහ ශිල්පීය දැනුම) ලබාගන්න බොහෝවිට යොමුවෙන්නේ ඔවුන්ගේ academic ගමනේ අවසාන වසර හෝ දෙක ඇතුලත. ඒක තමා ඔවුන්ගේ සීමාවාසික පුහුණුව. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්නා විදියට ඒ කාලය ඇතුලත තමයි internship එකක් හරහා විද්‍යාර්තීන් තමන් ඉගෙන ගත්ත විෂය දැනුමට අදාළ ආයතනික ප්‍රායෝගික පුහුණුව ලබන්නේ. ඒ වගේම මීට අමතරව යම් විෂය ක්ෂේත්‍රයකට අදාළව උසස් තාක්ෂණික ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, ඩිප්ලෝමා හෝ සහතිකපත්‍ර පාඨමාලා හදාරලා ඒවාට අවශ්‍ය ප්‍රායෝගික සහ තාක්ෂණික වෘත්තීය පුහුණුව ලබන්න බලාපොරොත්තු වෙන පිරිසකුත් ඉන්නවා. එතකොට ඒ හැමදෙනාටම ආයතනික ප්‍රායෝගික පුහුණුව ලැබෙන ප්‍රධානම ක්‍රමයක් තමයි formal internship එක කියන්නෙ. 

වර්තමානය වන විට අපිට දකින්න තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි මේ internships සොයාගැනීමේ අපහසුව. මේකට බලපාන විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත්, මූලික වශයෙන්ම මේ සම්බන්ධව ගැටළු මතුවීමට බලපාන, හඳුනාගත් කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මේ වෙනකොට ලංකාවේ තියෙන ආර්ථික අර්බුධය එක්ක ඇතැම් ක්ෂේත්‍ර කඩාවැටීමකට ලක් වෙලා තිබීම. එතකොට එහෙම කඩාවැටීමට ලක්වුණු ක්ෂේත්‍රයක් එක්ක සමපාත වෙන විෂය පථයකින් තමන්ගේ මූලික උපාධිය ලබන විද්යාර්තියෙක් internship එකක් හොයා ගැනීම සම්බන්ධව අවිනිශ්චිත බවකින් ඉන්නේ. දෙවෙනි කාරණාව තමයි සමහර ක්ෂේත්‍රවල ප්‍රමාණවත් තරම් internships තිබෙනවා නමුත්, ඒවා පිළිබඳව නියමාකාර සන්නිවේදනයක් නොවීම නිසා ඒ ගැන විද්‍යාර්තීන් දැනුවත් නොවීම. මේ වගේ අවස්ථාවන් වලදී තමන්ගෙ විෂය පථයට ගැලපෙන internship එකක් පහසුවෙන් සොයාගන්නට නොහැකිවීම නිසා ඔවුන්ට නිසි පුහුණුවක් ලබාගැනීමට නොහැකි වෙනවා වගේම , internship එකක් සොයාගැනීමට කල් ගත වීම නිසා ඔවුන්ට පුහුණුව ලැබීමට ඇති වටිනා කාලය අපතේ යෑමත් සිද්ධ වෙනවා. ඒ වගේම internship එකක් නොමැතිකම හෝ සොයාගැනීමේ අපහසුව විද්‍යාර්තීන්ට විෂාදය වගේ මානසික ගැටළු ඇතිවීමට බලපාන ප්‍රබලතම හේතුවක් වෙලත් තියෙනවා.

අනෙක් අතට ගත්තම සමහර ආයතන තියනවා (රාජ්‍ය සහ පෞද්ගලික) තමන්ට අවශ්‍ය පුහුණු, ගුණාත්මක ශ්‍රමය තියෙන තැන් හොයාගන්න බැරිව. සරළවම තමන්ට ගැලපෙන මානව සම්පත් සොයාගැනීමට ඔවුන්ට  අනවශ්‍ය කාලයක් සහ සම්පත් ප්‍රමාණයක් වැය කරන්න වෙලා තියෙනවා. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් තියෙනවා, තමන්ට ඊළඟ පිම්ම පනින්න අවශ්‍ය ගුණාත්මක ශ්‍රමයට පිවිසුමක් නැතිව.  

ඉතින් ඉහතින් කී වගේ internships සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම් පාදක කරගෙන ආචාර්ය නදීෂා චන්ද්‍රසේනගේ සංකල්පයකට අනුව තමයි මේ Myturn platform එක නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ වෙන්නේ. එතකොට, Myturn කියන්නෙ paid internships (ගෙවීම් සහිත සීමාවාසික පුහුණු අවස්ථා) ලබා දෙන ආයතන සහ internships ලබාගැනීමට අවශ්‍ය දෙපිරිස සම්බන්ධ කිරීමේ අරමුණින් කරනු ලබන ස්වේච්ඡා සේවාවක්. මේ වෙනකොට Myturn platform ඒක නිර්මාණය කරන්න විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥතාව තියෙන පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. දැනට ව්‍යාපෘති අධීක්ෂණ අංශය, තාක්ෂණික අංශය, සන්නිවේදන සහ මහජන සම්බන්ධතා අංශය, මානව සම්පත් අංශය සහ නීති අංශය ලෙස අංශ පහක් (05) සඳහා සාමාජිකයින් තිහකට (30) අධික ප්‍රමාණයක් තමන්ගෙ වෘත්තීය දැනුම ආශ්‍රයෙන් ස්වේච්ඡා සේවාවන් Myturn වෙත සපයනවා. ඒ වගේම තමයි Myturn platform එක නිර්මාණය කිරීමේදී Myturn app එක සහ Myturn web අඩවිය ඔවුන් හරහා නොමිලේ නිර්මාණය කරගැනීමට අවස්ථාව ලබාදීමට Sanmark Solutions ආයතනය ඉදිරිපත් වෙලා තියෙනවා. 

තවදුරටත් Myturn පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු ඉදිරියේදී සියලුම සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. Myturn platform එකට ලියාපදිංචි වෙන්නේ කොහොමද, internship එකක් ලබාදෙන්නේ සහ ලබාගන්නේ කොහොමද, internship එකක් සම්බන්ධ ගැටලුවකදී සහය ලබා ගතහැකි වන්නේ කොහොමද යන කරුණු ගැන වගේම internships සම්බන්ධව ආබාධිත ප්‍රජා අවශ්‍යතා පිළිබඳවත් සවිස්තරාත්මක කරුණු ඉදිරියේදී අපේ blog අඩවිය හරහා දැනගන්න ඔබට පුළුවන්. 

විශේෂයන්ම සටහන් කරන්න ඕනි Myturn කියන්නෙ උපාධිධාරීන්ට වගේම, උසස් ඩිප්ලෝමා සහ ඩිප්ලෝමාධාරීන්, සහතිකපත්‍ර ලාභීන් ඇතුළු internship එකක් ලබාගන්න බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනා සඳහාමත් විවෘත වේදිකාවක්. ඉතින් Myturn ගැන නවතම තොරතුරු දැනගන්න, රැඳී ඉන්න අපිත් එක්ක දිගටම…


Comments

“Myturn – විද්‍යාර්තීන් සහ සීමාවාසික පුහුණුවීම් ගැන කතාවක් !”ට ප්‍රතිචාර 0ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *